පානදුර රෝහලේ දි මළ සිරුරු දෙකක් මාරු වෙයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ සිංහල කාන්තාවගේ මළ සිරුරුක් මුස්ලිම් කාන්තාවකගේ මළසිරුරක් ලෙස අවසන් කටයුතු ද සිදු කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

පානදුර මූලික රෝහලේ අංක 7 කොවිඩ් වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටී වයස අවුරුදු 89 ක හා 93 කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු එකිනෙක මාරු වී ඇතැයි දැනගන්නට ඇත.

මොරටුව ලක්ෂපති ප්‍රදේශයේ පදිංචිව සිටි 89 හැවිරිදි මුස්ලිම් කාන්තාව ඉකුත් මස විසි එක් වැනි දා මියගොස් ඇති අතර ඇයගේ මළ සිරුර වෙනුවට ඥාතීන්ට 26 වෙනි දින භාරදී ඇත්තේ එදිනම ( 26) වැනි දින මියගිය පානදුර වීරසිංහ මාවතේ පදිංචිව සිටි 93 හැවිරිදි කාන්තාවගේ මළසිරුර බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

එම මළ සිරුර එදිනම මඩකලපුව ඔට්ටමාවඩු ප්‍රදේශයේ මිහිදන් කර ඇති බව ද එම ආරංචි පවසයි.

93 හැවිරිදි කාන්තාවගේ දියණිය ඊයේ 28 මවගේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයකු සමග රෝහල වෙත ගිය අවස්ථාවේදී මවගේ මළ සිරුර එහි නොමැතිබව දැන ගැනීමට ලැබීමෙන් අනතුරුව මේ පිළිබඳව රෝහල් බලධාරීන්ගෙන් විමසීමක් කර ඇතැයි දැනගන්නට ඇත.

ඒ වන විටත් මේ පිළිබඳ නොදත් රෝහල් බලධාරීන් සිද්ධිය යටපත් කිරීම සඳහා දැඩි උත්සාහයක් ගෙන ඇති අතර නීතියට සම්බන්ධ එම කාන්තාව විසින් තම මවගේ මළ සිරුර ඉල්ලා දැඩි ස්ථාවරය සිට ඇති බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

අනතුරුව විවිධ පාර්ශවයන් මෙම සිද්ධියට මැදිහත් වීමෙන් අනතුරුව රෝහල් මට්ටමින් පරීක්ෂණයක් සිදු කිරීමේ තීරණය මත සිද්ධිය සමථ වී ඇති බව වැඩිදුරටත් දැනගන්නට ඇත.